දැක්ම

බෝ නොවන රෝග සහ ඒවායින් සිදුවන මරණ හා ආබාධවලින් පීඩාවට පත් නොවූ රටක්

මෙහෙවර

නිදන්ගත හා බරපතල බෝ නොවන රෝග හේතුවෙන් ඇතිවන ග්ලාන්‍යයේ සහ මර්ත්‍යතාවයේ නිවාරණය කළ හැකි හා වළක්වාලිය හැකි බර අවම කිරීම සඳහා දායකවීම සහ ජනගහණය සෞඛ්‍ය, යහපැවැත්ම සහ ඵලදායිතාවයේ ළගාකර ගත හැකි ඉහළම ප්‍රමිති කරා ළඟාවීම සහ රටේ සමාජ ආර්ථික සංවර්ධනයට බෝ නොවන රෝග තවදුරටත් බාධාවක් නොවන බව සහතික කිරීම.

ඉතිහාසය

නිදන්ගත බෝ නොවන රෝග වැළැක්වීම සහ පාලනය සඳහා වන ජාතික වැඩසටහන සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, අධික්ෂණය කිරීම සහ ඇගැයීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ බෝ නොවන රෝග ඒකක අධ්‍යක්ෂ කාර්යාලය පළමුව ස්ථාපනය කරන ලද්දේ 1998 වසරේදීය. දිස්ත්‍රික්කය තුළ බෝ නොවන රෝග වැඩසටහන සම්බන්ධීකරණය හා ක්‍රියාත්මක කිරීම පිණිස දිස්ත්‍රික්කයේ කේන්ද්‍රීය තනතුර ලෙස බෝ නොවන රෝග පිළිබඳ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තනතුර (MO-NCD) 2003 වසරේදී නිර්මාණය කරනු ලැබීය. ජාතික බෝ නොවන රෝග වැළැක්වීම සහ පාලන වැඩසටහන තුළට හදිසි අනතුරු වැළැක්වීම ද අන්තර්ගත කරමින් අධ්‍යක්ෂ කාර්යාලයේ හදිසි අනතුරු වැළැක්වීමේ ඒකකය 2009 වසරේදී නිල වශයෙන් ස්ථාපිත කරන ලදී.

2017 වසරේදී, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්/ බෝ නොවන රෝග පත්කරනු ලැබූ අතර දිවයිනේ බෝ නොවන රෝග වැළැක්වීම සහ පාලනය සඳහා වූ ජාතික වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම පිණිස බෝ නොවන රෝග කාර්යාංශය ස්ථාපිත කරන ලදී.

ප්‍රතිපත්ති විධාන

නිදන්ගත බෝ නොවන රෝග වැළැක්වීම සහ පාලනය සඳහා ජාතික ප්‍රතිපත්තිය සහ උපායමාර්ගික රාමුව ජාතික වැඩසටහන එහි දැක්ම වන “බෝ නොවන රෝග සහ ඒවායින් සිදුවන මරණ හා ආබාධවල බරින් තොර රටක්” කරා මෙහෙයවනු ලබන අතර හදිසි අනතුරු වැළැක්වීමේ වැඩසටහන සඳහා විධාන ලබා දෙනුයේ ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු වැළෑක්වීම සහ කළමනාකරණය සඳහා ජාතික ප්‍රතිපත්තිය සහ උපායමාර්ගික රාමුවයි. බෝ නොවන රෝග වැළැක්වීම හා පාලනය සඳහා ජාතික බහු ආංශක ක්‍රියාකාරී සැලැස්ම (2016-2020) රට තුළ බෝ නොවන රෝග වැළැක්වීම සහ පාලනය සඳහා බහු ආංශික මැදිහත්වීම මගින් ඉදිරි ගමන් මග සඳහා තව දුරටත් අවස්ථා සපයයි.

බෝ නොවන රෝග වැඩසටහන ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා ජාතික, පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් සම්බන්ධීකරණ යාන්ත්‍රණ ස්ථාපනය කරන ලදී. නිදන්ගත බෝ නොවන රෝග සහ හදිසි අනතුරු වැළැක්වීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් සහ සමස්ත සම්බන්ධීකරණ ඒකකය ලෙස අධ්‍යක්ෂ කාර්යාලය කටයුතු කරන අතර බෝ නොවන රෝග සභාව සහ ජාතික බෝ නොවන රෝග මෙහෙයුම් කමිටුව, බෝ නොවන රෝග සඳහා ජාතික උපදේශන මණ්ඩලය හ තුවාල වැළැක්වීම සඳහා ජතික කමිටුවේ මග පෙන්වීම යටතේ ජාතික බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නංවනු ලැබේ.

වැඩසටහන් ව්‍යුහය

ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග නිවාරණය හා පාලනය පිළිබඳ කේන්ද්‍රස්ථානය වන්නේ බෝ නොවන රෝග පිළිබඳ අධ්‍යක්ෂ කාර්යාලයයි. එහි අධ්‍යක්ෂවරයා, බෝ නොවන රෝග පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ පරිපාලන විෂයපථය යටතේ කටයුතු කරයි. දිස්ත්‍රික් මට්ටමේදී, සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්ෂගේ පරිපාලන විෂය පථය හා ප්‍රාදේශීය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය උපදේශක සපයනු ලබන තාක්ෂණික මාර්ගෝපදේශ යටතේ බෝ නොවන රෝග නිවාරණ හා පාලන ක්‍රියාකාරකම්වල මූලිකත්වය ගනු ලබන්නේ බෝ නොවන රෝග පිළිබඳ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාය.

අපගේ කාර්යභාරය

ජාතික බෝ නොවන රෝග ඒකක අධ්‍යක්ෂ කාර්යාලයේ මුඛ්‍ය කාර්යභාරය වනුයේ රට තුළ බෝ නොවන රෝග නිවාරණය හා පාලනය සඳහා මැදිහත්වීම් සහ මූලාරම්භයන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය හා ඇගයීම වේ. අධ්‍යක්ෂ කාර්යාලය ප්‍රධාන උපායමාර්ග හතරක් යටතේ කටයුතු කරයි. ඒවා නම් උද්දේශනය, හවුල්කාරිත්ව සහ නායකත්වය, සෞඛ්‍ය ප්‍රවර්ධනය හා අවදානම් අවමකිරීම, බෝ නොවන රෝග කල් ඇතිව හඳුනා ගැනීම සහ කළමනාකරණය සඳහා සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම සහ ආවේක්ෂණය, පසුවිපරම, ඇගැයීම සහ පර්යේෂණ වේ. නිවාරණ හා සුවකාරක සෞඛ්‍ය ප්‍රතිකාරක ආයතන ජාලයක් හරහා මෙම සේවා සපයනු ලැබේ. තවද, බෝ නොවන රෝග පිළිබඳ චක්‍රලේඛ හා මාර්ගෝපදේශ සම්පාදනයේ හා මානව සම්පත් ධාරිතා ගොඩනැංවීමේ කාර්යයන්හි අධ්‍යක්ෂ කාර්යාලය නිරතව සිටියි.

හදිසි අනතුරු වැළැක්වීමේ ජාතික කේන්ද්‍රස්ථානය සහ ජාතික හදිසි අනතුරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් හා සමස්ත සම්බන්ධීකරණ ආයතනය ලෙස බෝ නොවන රෝග ඒකක අධ්‍යක්ෂ කාර්යාලය සලකනු ලබන අතර උද්දේශනය, හවුල්කාරිත්ව සහ නායකත්වය, සෞඛ්‍ය ප්‍රවර්ධනය හා අනතුරු අවමකිරීම, පශ්චාත් සත්කාරක සේවා සහ පුනරුත්ථාපනය, ධාරිතා ගොඩනැංවීම සහ ආවේක්ෂණය, අධීක්ෂණය, ඇගයීම හා පර්යේෂණ යන ප්‍රධාන උපායමාර්ගික ක්ෂෙත්‍ර පහ යටතේ අනපේක්ෂිත හදිසි අනතුරු වළක්වාලීමට කටයුතු කරයි.

හදිසි අනතුරු ඇතුලුව බෝ නොවන රෝග අවම කිරීම පිණිස මැනවින් සමායෝජිත හා බහු ආංශික ප්‍රවේශයක් ස්ථාපනය කිරීම පිණිස බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලය සෞඛ්‍ය හා සෞඛ්‍ය නොවන අංශයන්හි පාර්ශවකරුවන් සමග ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.