හදිසි අනතුරු හේතුවෙන් බර පිළිබද සංක්ෂේපය (මූලාශ්‍රය: වාර්ෂික සෞඛ්‍ය බුලටිනය‍, උග්‍ර නිදන්ගත රෝග වාර්තාව, 2017, ජාතික හදිසි අනතුරු ආවේක්ෂණය, 2018, බෝ නොවන රෝග ඒකකය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝ.සෞ.සංවිධානය ලංකාව පිළිබඳ වාර්තාව 2018)

මර්ත්‍යතාව

  • පසුගිය වසර 2 තුළ රෝහල්ගත කිරිම් සඳහා අංක 1 හේතුව අනතුරුය.
  • අනතුරු හේතුවෙන් සෑම වසරකම මිලියනයකට ආසන්න ජනතාවක් රෝහල්ගත කරනු ලැබේ.
  • සැම මිනිත්තුවකම, අභ්‍යන්තර ප්‍රතිකාර සඳහා කවර හෝ රජයේ රෝහලකට පුද්ගලයන් දෙදෙනෙකු ඇතුල් කරනු ලැබේ.
  • සෑම වසරකම, රජයේ රෝහල්වලට ඇතුලු කරන පිරිසෙන් 17-18% ක් පමණ අනතුරු හේතුවෙන් ඇතුලු කරන අයයි.
  • අනතුරු නිසා තුවාල ලැබූවන් මිලියන 2-3 ක ඇස්තමේන්තුගත සංඛ්‍යාවකට බාහිර රෝගීන් ලෙස රජයේ රෝහල්, පුද්ගලික හා ආයුර්වේද රෝහල් ප්‍රතිකාර ලබා දෙයි. ඒ අනුව, සෑම වසරකම මුළු ජනගහණයෙන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විය හැකි අනතුරකට ලක්වීමට ඉඩ තිබේ.
  • එහි ප්‍රතිඵලයක් ලෙස, අනතුරු හේතුවෙන් ඇතිවන තුවාල සඳහා දෛනිකව පුද්ගලයන් 11,000 ක් පමණ ප්‍රතිකාර ලබන අතර සෑම මිනිත්තුවකම අඩු තරමින් ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර ලබයි.
  • තුවාල ලබා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු ඇතැම් අය කිසිදු රෝහලකට නොපැමිණ නිවසේදීම ප්‍රතිකාර ලබාගන්නා බැවින්, අනතුරු නිසා තුවාල ලැබූවන් සංඛ්‍යාව ඇස්තමේන්තුගත සංඛ්‍යාවටද වඩා බෙහෙවින් වැඩි විය හැක.
  • තවද, සියලු අනතුරු සලකා බැලුවහොත්, අනතුරු නිසා තුවාල ලබන සංඛ්‍යාව මිලියන ගණණාවක් විය හැක.
  • වාර්තා වූ සියලු අනතුරු අතුරින්, බහුතරයක් ඇතුලු කර ඇත්තේ වැටීම් (24%) නිසා වන අතර වැඩිම අනතුරු සංඛ්‍යාවක් (40%) සිදුව ඇත්තේ නිවසේදීය, තවත් විශාල පිරිසක් ගමන් බිමන් අතරතුරු අනතුරුට ලක්ව තිබේ. (24%)

මරණ අනුපාතය

  • වාර්ෂිකව, අනතුරු නිසා ශ්‍රී ලාංකිකයන් 14,000කට ජීවිත අහිමි වේ. ඒ අනුව, දෛනිකව අනතුරු නිසා මිය යන සංඛ්‍යාව 38කි. (සෑම පැය 2කට වරක් පුද්ගලයන් තුන් දෙනෙකු)
  • ශ්‍රි ලංකාවේ මරණ සඳහා හතරවැනි හේතුව වන්නේ අනතුරුය. (සියලු මරණ අතුරින් 10%- 14,000) රෝහල්වල සිදුවන මරණ සඳහා 10 වන හේතුව එයයි. (3.7%- 2000)
  • ඒ අනුව, විවිධ හේතුන් මත රෝහලකට ඇතුලු කිරීමට පෙර අනතුරු හේතුවෙන් පුද්ගලයන් 10,000ක් මිය යයි.

අනතුරු බර

  • උචිත වැළැක්වීමේ උපායමාර්ග ක්‍රියාත්මක නොකළහොත් නාගරීකරණය, කර්මාන්තකරණය, යාන්ත්‍රීයකරණය සහ යටිතල පහසුකම් සංවර්ධනය හේතු කොට ගෙන මිනිසුන්ගේ ජීවන රටාවන් වේගයෙන් වෙනස්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඊළඟ දශකයේදී අනතුරු බර ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.
  • අනතුරුවල වින්දිතයන් බහුතරයක් ඵලදායී වයස් කාණ්ඩයට අයත් වන අතර (අවු. 15 සිට 44 දක්වා) එය එම වයස් කාණ්ඩයේ මරණ සඳහා අංක එකේ හේතුව වේ.
  • අනතුරු වින්දිතයාට පමණක් නොව පවුලට සහ සමාජයට ද විනාශකාරී දිගු කාලීන ප්‍රතිවිපාක ඇති කරයි.
  • අනතුරු නිසා රෝගීන් වූවන්ගේ ප්‍රතිකාර සඳහා වාර්ෂිකව රටේ අයවැයෙන් විශාල මුදලක් වැය කෙරේ.
  • අනතුරුවල සැඟවුණු පිරිවැය ද අති විශාල අතර එය මෙතෙක් නිවැරැදිව හඳුනාගෙන නොමැත.

අනතුරු බොහෝමයක්, විශේෂයෙන්ම අචේතනීය අනතුරු අපේක්ෂා කළ හැකි අතර නිසි පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගන්නේ නම් වැළැක්විය හැකි වේ. නමුත් දැනුම නොමැතිකම, පූර්වාරක්ෂිත ක්‍රියාමාර්ග නොගැනීම, නීතිවලට අනුකූලව කටයුතු නොකිරීම, නොසැලකිල්ල, ප්‍රථමාධාර කුසලතා නොමැතිකම, දුර්වල ප්‍රවාහනය, දුර්වල පාරිසරික තත්ත්වයන් සහ වාහන සහ යන්ත්‍රෝපකරණ ආදිය නිසි පරිදි නඩත්තු නොකිරීම වැනි හේතු ගණනාවක් නිසා එම තත්ත්වය සාක්ෂාත් කරගැනීම ඉතා අසීරු වේ.